ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ’ ශූරතාවය දිනාගනියි

ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා ජාතික රුවල් යාත්‍රා සාමාජය මඟින් සංවිධානය කරන ලද ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2021’ 2021 දෙසැම්බර් 10 සහ 11 යන දිනයන්හීදී බොල්ගොඩ ජලාශයෙහි, පවත්වන ලද අතර, එහිදී, අනෙක් රුවල් යාත්‍රා සමාජ අභිබවමින් නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම කරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම තරඟාවලියේදී සුවිශේෂී දක්‍ෂතා විදහා පෑ නාවික හමුදා තරඟකරුවන් Laser Standard පන්තියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ද, Laser Radial පන්තියේ ප්‍රථම සහ දෙවන ස්ථාන ද, Enterprise පන්තියේ ප්‍රථම සහ දෙවන ස්ථාන ද, ව්‍යවසාය පන්තියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ද, RS One Windsurfing පන්තියේ ප්‍රථම ස්ථානයද දිනා ගනිමින් ශ්‍රී ලංකා ජාතික රුවල් යාත්‍රා සමස්ත ශූරතාවය දිනාගැනීමට කටයුතු කෙරිණි. මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ පුහුණුකරු වශයෙන් හිටපු නාවික හමුදා ජාතික ශූරයෙකු වන ක්‍රිෂාන් ජානක මහතා කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සමාජය, ලංකා මෝටර් යාත්‍රා සමාජය (CMYC), රාජකීය කොළඹ යාත්‍රා සමාජය (RCYC), ශාන්ත තෝමස් විද්‍යාලීය රුවල් සමාජය, රාජකීය විද්‍යාලීය රුවල් සමාජය සහ බෙන්තොට වින්ඩ්සර්ෆින් සමාජය නියෝජනය කරමින් රුවල් බෝට්ටු 97ක් සහභාගී විය.

තරඟාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහභාගී වු අතර, Brown & Company PLC හි විධායක සභාපති ඉෂාර නානායක්කාර මහතා, ජාතික රුවල් යාත්‍රා සාමාජයේ සභාපති ජෝසප් කෙනී මහතා, නාවික හමුදා රුවල් යාත්‍රා සමාජයේ සභාපති කපිතාන් දුමිදු අබේවික්‍රම සහ ජාතික රුවල් යාත්‍රා සාමාජයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරේෂ් කූරගම මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.