නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක්

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2021 ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න 2021 ඔක්තෝබර් මස 30 සහ අද (2021 ඔක්තෝබර් මස 31) සමත් විය.

ඒ අනුව, 2021 වර්ෂයේ ‍පැවැත්වෙන 99 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 4 තත්පර 9.12 කින් (4:9.12) විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, එම ධාවන ඉසව්වේ නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාව 2019 වසරේ පිහිටුවා තිබූ විනාඩි 4 තත්පර 15.86 ක පෙර වාර්තාව (4:15.86) අභිබවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ගයන්තිකා අබේරත්න සමත් විය. එමෙන්ම, අද උදෑසන (2021 ඔක්තෝබර් මස 31) මිටර 5000 කාන්තා ධාවන ඉසව්ව ඇය විනාඩි 15 තත්පර 55.84 කින් (15:55.84) ජයග්‍රහණය කරමින් එම ධාවන ඉසව්වේ නිලානි රත්නායක ක්‍රීඩිකාව 2019 වසරේ පිහිටුවා තිබූ විනාඩි 16 තත්පර 17.82 ක (16:17.82) ක වාර්තාව සහ හිරුණි විජේරත්න ක්‍රීඩිකාව 2020 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා තිබූ විනාඩි 16 තත්පර 17.51 ක (16:17.51) වාර්තා අභිබවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක්ද, 2017 වර්ෂයේ ඉන්දියාවේදී පැවති ආසියානු ශුරතාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමද, 2018 වර්ෂයේ ජකර්තා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 1500 කානතා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ එම ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද, දිනාගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි.

එමෙන්ම, 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී ඇති නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න, නාවික හමුදා මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් දැක්වූ විශිෂ්ඨ දක්‍ෂතා අගයමින් 2021 වර්ෂයේ පැවති නාවික හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් හිමි කර ගන්නා ලදී. තවද, ඇයගේ පුහුණුකරු ලෙස ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්‍ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා කටයුතු කරනු ලබයි.