තවත් කේරළ ගංජා තොගයක් පේදුරු තුඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, තුම්පලායි වෙරළ ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 06 වන දින රාත්‍රියේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 23 ග්‍රෑම් 600ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් පේදුරු තුඩුව නාවික අනුඛණ්ඩය මඟින් 2021 දෙසැම්බර් මස 06 වන දින පේදුරුතුඩුව, තුම්පලායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී එම ප්‍රදේශයේ අතහැර දමන ලද උරයක් තුල පාර්සල් 08ක් ලෙස අසුරන ලද මෙම කේරළ ගංජා කිලෝ 23 ග්‍රෑම් 600ක පමණ ප්‍රමාණය නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන ලද බවට සැක කෙරෙන නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණයේ වීථි වටිනාකම රුපියල් මිලියන 7කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදාව මගින් ගිනි තබා විනාශ කරීමට කටයුතු කෙරිණි.