කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරනු ලබයි.

කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව අද (2021 නොවැම්බර් 23) උදෑසන මෙම අනතුර සිදුවන විට මෙම පාලම් පාරුවේ පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් බවට වාර්ථාවී ඇත.

එමෙන්ම, මේ වනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 12 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කල අතර, අනතුර හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත. තවද, අතුරුදන් වී ඇති තවත් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.