වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර ‍මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය ජාවාරම් කරුවන් විසින් රැගෙනවිත් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පවත්තා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය මඟින් සිදු කරනු ලබයි.