රුපියල් මිලියන 6කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 09) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 757ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මගින් මන්නාරම පොලීසිය හා එක්ව අද (2021 නොවැම්බර් 09) මන්නාරම පේසාලේ සිරිතෝප්පු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, සැකකටයුතු ලෙස පාර්සලයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී අලෙවිකිරීම සඳහා රැගෙන යමින් සිටි අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 757ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීථි වටිනාකම රුපියල් මිලියන 06කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන පේසාලේ උදයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.