නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1954ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් 06 සහ 07 යන දිනයන්හි වයඹ මුහුදේ සහ කිළිනොච්චිය, කිරංචි වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය, උදෙයිරිප්පුටි දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1954ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2021 ඔක්තෝබර් 06 වන දින ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර, පී 237 සහ පී 261 වෙරළබඩ මුර යාත්‍රා මඟින් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නාවික මෙහෙයුම් හමුවේ ඉන්දීය ධීවර යාත්‍රාව වෙතින් සැකකටයුතු ලෙස උර කිහිපයක් මුහුදට දමා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට යාත්‍රා කරන ලද අතර, එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබූ උර 21ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 800 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් 2021 ඔක්තෝබර් 06 වන දින කිළිනොච්චිය, කිරංචි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව වෙරළට ආසන්න මුහුදු තීරයේ ගිල්වා සඟවා තිබූ ගෝනි 05ක අසුරන ලද කහ කිලෝ ග්‍රෑම් 304ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, වයඹ නාවික විධානයට අයත්, ක්ෂණික ක්‍රියාකාරී බලඝණ මූලස්ථානය මඟින් අද (2021 ඔක්තෝබර් 07) අළුයම කල්පිටිය, උදෙයිරිප්පුටි දූපතේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් එම දූපතේ සඟවා තිබූ උර 31ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 850ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් කිලෝග්‍රෑම් 1954ක පමණ (තෙත බර සහිත) කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.