නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1064 ක් සමඟ සැකකරුවකු නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 04) නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්ණී ආයතනය මඟීන් අද (2021 ඔක්තෝබර් 04) සවස් කාලයේ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ධීවර වාඩියක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ධීවර වාඩිය තුළ මළු 32ක අසුරා සඟවා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1064ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන නොරොච්චෝලේ නාරක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.