රුපියල් මිලියන 55කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසල මාර්ග බාධකයකයක් යොදා 2021 අගෝස්තු 28 වන දින සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රීලංනානෞ පුස්සදේව ආයතනය, මුරුංගන් පොලීසිය හා එක්ව 2021 අගෝස්තු 28 වන දින මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසල මාර්ග බාධකයක් යොදා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කර, එම ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ ඹෟෂධ, රූපලාවන්‍ය සහ සනීපාරක්‍ෂක භාණ්ඩ සමඟ සූක්‍ෂම ලෙස පාර්සල් 87ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715ක පමණ තොගයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී අත් අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 55 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 34 යන වයස් වල පසුවන මහනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ලොරි රථය සම්බන්ධ ඉදිරි නීතීමය කටයුතු මුරුංගන් පොලීසිය විසින් සිදුකරනු ලබයි.