නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 442 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස 01 වන දින සිට ජුනි මස 30 වන දින දක්වා ගතවූ මාස 03ක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 442 ක් සහ ධීවර යාත්‍රා 153 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

මෙහිදී වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් මූහුදු කූඩැල්ලන් ඇල්ලීම, අනවසර ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නියැලීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 16 ත් 60 ත් අතර වයසේ පසුවන අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, තලෙයිමන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කිළිනොච්චිය, මුලතිව් යාපනය, අනුරාධපුර, කෑගල්ල සහ මාතර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ, පොතුවිල්, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, කල්පිටිය, තලෙයිමන්නාරම, කිළිනොච්චි, මන්නාරම, කුච්චවේලි, නිලාවේලි, යාපනය, පේදුරුතුඩුව, කරෙයිනගර් සහ පුත්තලම යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, අඩප්පන් හා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නිරත්තර මෙහෙයුම් ඉදිරියටත් සිදු කරනු ලබයි.