පසුගිය දින 05 ඇතුළත පමණක් නාවික හමුදාව රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැහැනට හසුකර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, කරුකුපනේ සහ යාපනය මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 18 සහ 19 දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 377 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, ඒ අනුව පසුගිය දින 05 තුළ දී පමණක් නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

2021 ජුනි 18 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව හා එක්ව හලාවත, කරුකුපනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාකර එම යාත්‍රාවෙන් මුහුදට දැමූ ගෝනි මළු 05ක පාර්සල් 98ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 238ක පමණ ප්‍රමාණයක් සහ එහි සිටි සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. හලාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වන එම සැකකරු සමඟින් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

අද (2021 ජුනි 19) එම මුහුදු ප්‍රදේශයේ පී 414 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ තවත් කේරළ ගංජා කිලෝ 46 යි ග්‍රෑම් 800 ක් අඩංගු ගෝනියක් නාවික හමුදා භාරයට ගත් අතර, එම කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පී 178 සහ පී 106 යන වෙරළබඩ මුර යාත්‍රා මඟින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජුනි 19) සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමන ලද ගෝනි මළු 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 93 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාව විසින් පසුගිය දින 05ක කාලසීමාව තුළදී පමණක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වීථි වටිනාකම රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 800ක ප්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 746 කට අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කළ අතර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1234 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සහ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 364 ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

‍‍‍මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සියළු නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි මුර සංචාර වැඩිකරමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.