අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ දැඩි සුළං හේතුවෙන් මෙරට මුහුදු තීරයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් වයඹ වෙරළ තීරයේදී මෙන්ම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2021 ජුනි 17 වන දින සොයා ගන්නා ලදී.

වයඹ නාවික විධානය විසින් පුත්තලම, පෙරියපාඩු වෙරළ ප්‍රදේශයේ 2021 ජුනි 17 වන දින අළුයම ලද තොරතුරුකට අනුව සිදුකළ මුර සංචාරයකදී එම වෙරළ ප්‍රදේශයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් වෙරළ තීරයේ තිබී සොයා ගන්නා ලදි. එමෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2021 ජුනි 17වන දින දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 09ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ ‍මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ තවත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සොයා ගන්නා ලද අතර, මෙලෙස සොයා ගන්නා ලද යාත්‍රා ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ඇත.

එමෙන්ම, අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම් හේතුවෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු තීරයට මෙලෙස පාවී ආ අවස්ථා වාර්ථාවී ඇත. ඒ අනුව, 2017 වර්ෂයේ තලෙයිමන්නාරම සහ උඩප්පුව වෙරළ ප්‍රදේශ වෙත යාත්‍රා 04ක්ද, 2018 වර්ෂයේ තලෙයිමන්නාරම, මන්නාරම සහ උඩප්පුව වෙරළ ප්‍රදේශ වෙත යාත්‍රා 03ක්ද, 2019 වර්ෂයේ සිලාවතුර, දෙහිවල සහ ඩෙල්ෆ්ට් වෙරළ ප්‍රදේශ වෙත යාත්‍රා 05ක්ද, 2020 වර්ෂයේදී ඉරනවිල, වෙන්නප්පුව සහ මන්නාරම වෙරළ ප්‍රදේශයන්ට යාත්‍රා 03ක්ද, 2021 වර්ෂයේ මැයි මාසයේ දී වලෙයිපාඩු ප්‍රදේශයට එක් (01) යාත්‍රාවක්ද වශයෙන් 2017 වර්ෂයේ සිට ඉන්දීය ධීවර යාත්‍රා 16ක් මීට පෙර මෙරට මුහුදු සීමාවට පාවී විත් තිබියදී සොයාගෙන ඇත.

තවද, කාළගුණික විපර්යාස සහ දැඩි සුළං හේතුවෙන් යාත්‍රාවන්ගේ කඹ ලිහී යාම හෝ කැඩී යාම හේතුවෙන් මුහුදේ දියවැල්වල බලපෑමට හසුව ඉන්දීය ධීවර යාත්‍රා මෙලෙස මෙරට වෙරළ ප්‍රදේශ වෙත පාවී එන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.