නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව 2021 පෙබරවාරි 24 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර්ජෙල් සහ සේවා නූල් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය ත්‍රිකුණාමලය, පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර, අළෙවි කිරීමට සුදානම් කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍යයක් වන වෝටර් ජෙල් කූරු 37 ක් සහ සේවා නූල් අඩි 206 ක් සමඟ වයස අවුරුදු 42 ක් වන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. ගල්වැඩපල ආශ්‍රිත කර්මාන්ත සඳහා වාණිජ පුපුරණ ද්‍රව්‍යයක් ලෙස නිකුත් කරනු ලබන මෙම වෝටර්ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය සහ සේවා නූල්, නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා පුද්ගලයින් වෙත අළෙවි කිරීමට මෙලෙස සූදානම් කර තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කල මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.