ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෝෂණ ප්‍රතිපත්තිය සහ ශරීර ස්කන්ධ දර්ශකය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්

බෝ නොවන රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 16 සහ 17 යන දිනයන්හිදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා සෑම නාවික විධානයක්ම නියෝජනය වන පරිදි නාවික හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් හැත්තෑවක් (70) පමණ සහභාගී වී සිටි අතර, ඔවුන් මඟින් බෝ නොවන රෝග වැළැක්විමට අනුගමනය කළ යුතු පියවර සහ ශරීර ස්කන්ධ දර්ශකය පවත්වාගෙන යාම පිළිබඳව නාවික විධානයන්හි නාවික පුද්ගලයින් සවිබල ගැන්වීම අපේක්‍ෂා කෙරේ.

මෙම වැඩසටහන තුළදී බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම, දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය සහ අවශ්‍ය පෝෂදායි ආහාර තෝරා ගන්නා ආකාරය පිළිබඳ දේශන පවත්වන ලදී.

2022 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මෙම වැඩසටහන නාවික විධාන මට්ටමින් සිදු කිරීමට සැළසුම් කර ඇති අතර, 2022 ජනවාරි මස පැවැත්වෙන පළමු අධියර මඟින් බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබඳවත්, පෙබරවාරි මාසයේදී තම ක්‍රියාකාරකම් රටාවට අනුව ශක්ති අවශ්‍යතාවය ගණනය කිරීම පිළිබඳවත්, මාර්තු මාසයේදී සුදුසු ආහාර තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් දැනුවත් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා. සායනික පෝෂණ වේදය සම්බන්ඳ විශේෂඥ මඩුල්ලක්, සායනික පෝෂණවේදී, වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහභාගීවී සිටියහ.