‍බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

2021 දෙසැම්බර් මස 18 ‍වන දින නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ යුද නෞකාව අද (2021 දෙසැම්බර් 20) එම නිළ සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යන ලදී.

මෙම සංචාරය තුළදී ‘ABU UBAIDAH’ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් එම්ඩී අෂ්රෆුස්සමාන් (Captain MD Ashrafuzzaman) සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර නිළ හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එහිදී දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමරුවක්ද සිදු විය.

ඒ අනුව, දෙරටේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවේ නැව් මුළුව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වු අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද අවස්ථාවක් උදාවිය.

තවද, සාර්ථක නිල සංචාරය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 20) දින දිවයිනෙන් පිටත් වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ යුද නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙහිදී සමුදීම සිදු කෙරිණි.