ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ දිවයිනෙන් පිටත් වෙයි

2021 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ යුද නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත් වූ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව එම නෞකාව 2021 දෙසැම්බර් මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඒ අනුව, සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ යුද නෞකාව 2021දෙසැම්බර් මස 16 වන දින ශ්‍රීලංකා නාවික හමුදාවට අයත් සිඳුරළ නෞකාව සමග පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව බටහිර නාවික විධානයට අයත් මුහුදු කළාපයේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වූ අතර, එහිදී නෞකාවන් අතර භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් කිරීම සහ නෞකා පෙළ හැඩයන් පවත්වාගෙන යාමේ අභ්‍යාස සාර්ථකව සිදු කෙරිණි.

තවද, මෙවැනි නාවික අභ්‍යාස මඟින් වර්ධනය වන ද්වීපාර්ශවික සහයෝගීත්වය, දෙපාර්ශවය අතර නව දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම සාගර කළාපයේ පොදු සාගරික අභියෝග සාමූහිකව ජය ගැනීම සඳහා ද මහත් පිටුවහලක් වනු ඇත.

එමෙන්ම, සාර්ථක නිල සංචාරයක් නිමා කරමින් දිවයිනෙන් පිටත් වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ යුද නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙහිදී සමුදීම සිදු කෙරිණි.