71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්

නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 10 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වෙරළ ඛාදනය වලක්වා, ගැනීම සහ සාගර ජෛව විවිධත්වය රැකදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. කඩොලා‍‍න පරිසර පද්ධතිය මඟින් වෙරළ පරිසරය රැකදෙමින් මත්ස්‍ය අභිජනනය සඳහාද අවශ්‍ය ස්වභාවික අවකාශ නිර්මාණය කරනු ලබන බැවින්, පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද කඩොලාන පරිසරය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව උතුරු නාවික විධානයේ ආඥාපති විසින් පොන්නාලෛයි කළපුව තුල කඩොලාන පැල සිටුවමින් මෙම පැලසිටුවීමේ වැඩසටහන ආරම්භ කල අතර, ඉදිරියේදී යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව කඩොලාන පැළ 1500 ක් සහ ගොඩබිම් ප්‍රදේශයේ කොස්, සියඹලා, කුඹුක්, මී, දඹ, මහෝගනි සහ පාරේමාරා වැනි පාරිසරික වටිනාකමකින් යුත් පැල 750ක් රෝපණය කිරිමට නියමිතව ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු උතුරු නාවික විධානයේ නිලධාරින් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.