සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 56 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීම (තාක්ෂණික) සහ ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 56 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම 2021 දෙසැම්බර් මස 11 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, එම විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ආරාධනයට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන්කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීමේ (තාක්ෂණික) මධ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 43 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසානයේ තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලදී.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට එහිදී, නාවික හමුදාධිපති වෙතින් විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීමේ (තාක්ෂණික) නිලධාරීන්ගෙන් තාක්‍ෂණික විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී, එච්යූසීඑල් ජයකොඩි, එන්ආර්ඊ 4114 විසින් හිමි කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හා නාවික විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සඳහා වන සම්මානය මධ්‍ය නිලධාරී, එන්ඩීඒඑන් නානායක්කාර, එන්ආර්එක්ස් 4364 විසින් හිමිකර ගන්නා ලද අතර, වෘත්තීය විෂයයන්ගෙන් හා සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සඳහා වන සම්මානය මධ්‍ය නිලධාරී, කේඑච්පීඅයි හැන්නදිගේ, එන්ආර්අයි 4406 විසින් ද, හොඳම ඉලක්කකරුට හිමි සම්මානය, මධ්‍ය නිලධාරී එච්ජීඑල්එස්එල් සෝමරත්ත, එන්ආර්එක්ස් 4375 විසින් ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, මධ්‍ය නිලධාරි බීවීඩී පබසර, එන්ආර්එස් 4398 විසින්ද හිමි කර ගන්නා ලදී.

මෙහිදී අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති, පුහුණුව සාර්ථකව නිම කර අධිකාරියට පත් නිලධාරීන් හට ප්‍රථමයෙන් සිය සුභපැතුම් පිරිනමන බවත්, පුහුණුව තුලින් වැඩිදියුණු වූ කුසලතා ඉදිරි නාවික ජීවිතයේ වෘත්තීය නිපුණත්වය ඇති කිරීම සඳහා ඉවහල් වන බවත් පවසන ලදී.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීමෙන්, දූපත් රාජ්‍යක් වන අප මව්බිමේ සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් දේශයේ පළමු ආරක්ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට සුවිශාල වගකීමක් පැවරී ඇති බව නාවික හමුදාධිපති විසින් පවසන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දේශයේ සමුද්‍රීය අභිලාෂයන් සුරක්ෂිතව ශාක්ෂාත් කරගැනීම උදෙසා මව්බිමේ නාවික බලඇණිය මෙහෙයවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට රටේ ජවසම්පන්න තරුණ තරුණියන් අවශ්‍ය බවත්, එබැවින් නාවික පවුලට සම්බන්ධ වීමෙන් විසිර යන නිලධාරීන් තම වෘත්තීය ජීවිතයේ මහඟු අවස්ථාවක් උදාකරගත් බවත් පවසන ලදී.

තවද, සෘජුභාවය නායකත්ව ගුණාංග අතරින් වැදගත්ම ගුණාංගය බවත්, ඉදිරි වෘත්තීය ජීවිතයේදී සාර්ථක නායකයෙකු වීමට නායකත්ව ගුණාංග වැඩිදියුණු කරගත යුතු බවත් පැවසූ නාවික හමුදාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී ලද පුහුණුව තුලින් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය නිසි පුහුණුව සමඟින් වැඩිදියුණු කරගත් නායකත්ව ගුණාංග මව්බිම සුරැකීම උදෙසා ඉදිරියේදී තවදුරටත් වැඩි දියුණු කරගත යුතු බවත් පවසන ලදී.

තවද, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව පිලිබඳ විශ්වාසය තබා තම දරුවන් නාවික හමුදාවට බාර දුන් අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත කෘතඥතාවය පල කල නාවික හමුදාධිපති, ඉහළම නාවික සම්ප්‍රදායන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම තරුණ නිලධාරීන්ගේ නායකත්ව ගුණාංග සහ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා කැපවූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පුහුණු උපදේශක කාර්යමණ්ඩලයට සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක කාර්යය මණ්ඩලය වෙතද සිය ප්‍රශංසාව පල කිරීමට මෙහිදී කටයුතු කෙරිණි.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්චා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ඇතුළු විධාන ආඥාපති වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්, ධජ නිලධාරින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරනලද මෙම විසිර යාමේ සහ අධිකාරියට පත්කිරීමේ අභිමානවත් උත්සවය, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම සහ වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිමාවට පත් විය.