නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල පහලොස් වන (15) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී 2021 දෙසැම්බර් මස 10 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

පහලොස් වන (15) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව, 2021 වර්ෂයේ ජනවාරි මස 26 වන දින සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී ආරම්භ විය. එහිදී, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 76ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 25 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 26ක්, බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය, රුවන්ඩාව, සෞදි අරාබියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෙනගාල් යන විදෙස් රාජ්‍යන් නියෝජනය කරමින් යුධ හමුදාවේ නිලධාරීන් 11, නාවික හමුදා නිලධාරින් 2, ගුවන් හමුදා නිලධාරින් 5 ක් ඇතුළු සමස්ථ නිලධාරින් 145 දෙනෙකු එම පාඨමාලාව හදාරණ ලදී.

මෙම උත්සවයේදි මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කර මාණ්ඩලික සුදුසුකම් ලබා ගත් (Passed Staff College- psc) නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු සහතික පත් ලබාගත් අතර, පාඨමාලාව සම්පූර්න කළ නාවික හමුදා නිලධාරීන් අතරින් සුවිශේෂී කුසලතාවන් දැක්වූ ලුතිනන් කොමාණ්ඩර් එස්එච්ඩිඑස් ප්‍රනාන්දු ගෝල්ඩන් අවුල් (Golden Owl) කුසලානය හා, ලුතිනන් කොමාන්ඩර් කේකේසී උදයංග සහ ලුතිනන් කොමාන්ඩර් එස්එච්ඩිඑස් ප්‍රනාන්දු ආඥාපති ගෞරව සම්මානය (Commandant Honours) හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරීස්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, අයිඑච්එම්එන්එන් හේරත්, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය, 15 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් නිලධාරීන් ඇතුළු පිරිසක් පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගිවී සිටියහ.