71 වන සංවත්සරය අභිමානවත්ව සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය අද (‍2021 දෙසැම්බර් 09) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 71 වන සංවත්සරයට සමගාමීව, මෙවරද 2021 දෙසැම්බර් මස 09 සහ 10 දිනයන්හි ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට කටයුතු සුදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් වූ ආගමික වැඩසටහන් මාලාව ආරම්භකරමින්, කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පවත්වා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදය ලබාගන්නා ලදී. එමෙන්ම, 2021 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පූජාව සිදුකරන ලද අතර, නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (2021 දෙසැම්බර් මස 09) දළඳා සමිඳුන් උදෙසා බුද්ධපූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී සිදු කරනු ලබයි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙතෙක් සපැමිණි දීර්ඝ ගමනේදී මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම උදෙසා සිදුකළ අනභිභවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික විරුවන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝ රත්නය 71 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම 2021 දෙසැම්බර් 03 සහ 04 දෙදින වැලිසර නාවික පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේ ද, හින්දු දේව මෙහෙය කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු දේවස්ථානයේදී ද, මුස්ලිම් දේව මෙහෙය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ද, පවන්තා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට කටයුතු කරන ලදී.

එමෙන්ම 71 වන සංවත්සරයට සමගාමීව, කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කෙළඹියාව ප්‍රදේශයේ නාවික හමුදා මුල්‍ය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද දින (2021 දෙසැම්බර් මස 09) වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.

අද දින (2021 දෙසැම්බර් 09) අභිමානවත් 71 වන සංවත්සරය සමරන නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනතින් බ්‍රිතාන්‍යයන් විසින් දෙවන ලෝක යුද සමයේ ඔවුන්ගේ යටත් විජිතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රතිපත්තීමය තීරණයකට අනුව ‘ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’ ලෙස මෙරට ප්‍රථම වරට නාවික හමුදාවක් ස්ථාපිත විය. ඉන් පසුව, වර්ෂ 1950 දෙසැම්බර් මස 09 වන දින 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මගින් මෙරට ස්ථිර නාවික හමුදාවේ සමාරම්භය සනිටුහන් කරමින් ස්ථාපිත වූ ‘රාජකීය ලංකා නාවික හමුදාව’, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමත් සමඟ, 1972 වර්ෂයේ මැයි මස 22 වන දින ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ ලෙස පරිවර්තනය විය.

දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, ඉන්දියානු සාගර කළාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කැප වන ප්‍රමුඛ පාර්ශව කරුවෙකු වශයෙන් එම සාගර කළාපය ඔස්සේ සිදු වන නීති විරෝධී කටයුතු මැඩපවත්වා, සාගරය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු ආරක්‍ෂිතව ඉටු කර ගැනීමට මෙන්ම, මෙරට සාගරික මුදවාගැනීමේ කළාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව සහන සැලසීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව උපරිම දායකත්වය ලබා දෙනු ලබයි.

දූපත් රාජ්‍යක් ලෙස මාතෘ භූමිය වෙත සාගරය මතින් එල්ලවන අභියෝග ජයගැනීම සඳහා නාවික බලය ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට සාගරික වපසරිය තුළ සිදු කෙරෙන හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි.

සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නායකත්වය යටතේ, සුරක්‍ෂිත සාගර කළාපයක් පවත්වා ගැනීමේ ජාතික අභිලාශය සාක්‍ෂාත්කර ගැනීම උදෙසා කාලීනව නව්‍යකරණය වූ නාවික හමුදාව, ඉහළ සංචරණ ධාරිතාවයකින් යුත් නෞකා සහ යාත්‍රා සමූහයකින් ද නාවික හමුදාවේ කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා මනා ලෙස සංවිධානය වූ පරිපූර්ණ මානව සම්පතකින් ද යුතුව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ශක්තිමත් කරයි.