නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පහළොස්වන (15) පාඨමාලාව අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පහළොස්වන (15) මාණ්ඩලික පාඨමාලාව ඇමතීම සඳහා අද (2021 දෙසැම්බර් 06) සහභාගී විය.

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, අයිඑච්එම්එන්එන් හේරත් විසින් නාවික හමුදාධිපති මාණ්ඩලික විද්‍යාලය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ‘රටේ නාවික බලය හැඩගැස්වීම: අතීතය, වර්තමානය සහ අනාගතය’යන කාලීන තේමාව යටතේ නාවික හමුදාධිපති විසින් පහළොස්වන මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් අමතමින්, ලෝකයේ සාගර සහ සමුද්‍රීය බලය (Oceans and Maritime Power), ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම (Significance of the Indian Ocean Region), සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය (Sri Lanka’s role in the Indian Ocean) සම්බන්ධයෙන් හරවත් දේශණයක් පවත්වන ලදී.

විශේෂයෙන් දශක තුනකට ආසන්න කාලයක් එල්ටීටීඊය සමඟ පැවති දිගුකාලීන යුද්ධයෙහි පැවැත්ම සඳහා බලපෑ ප්‍රධානතම සාධකය වූ (Centre of Gravity) ත්‍රස්තවාදීන්ගේ මුහුදු සැපයුම් ජාලය විනාශ කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් සිදුකර, සාගරය ඔස්සේ සිදුකෙරෙන ආර්ථික කටයුතු අඛණ්ඩව සහ සුරක්ෂිතව සිදුකිරීම උදෙසා නාවික හමුදාව සිදුකල සුවිශේෂී දායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්දැකීම් පිලිබඳ මෙහිදී නාවික හමුදාධිපති විසින් පැහැදිලි කරන ලදී.

එමෙන්ම, පශ්චාත් යුද සමයේ දෘශ්‍යමාන සතුරකු නොමැති වුවත්, ඉන්දීය සාගර කලාපය ඔස්සේ සිදුවන මුහුදු කොල්ලකෑම්, සමුද්‍රීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම, නීති විරෝධී වාර්තා නොවන හා නියාමනය නොවූ මත්ස්‍ය කර්මාන්තය, සාගරික දූෂණය ආදී නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමට මෙන්ම ඉන්දියානු සාගර කලාපයේ සිදුවන ස්වභාවික විපත් අවස්ථාවන්හිදී නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් නාවික හමුදාවේ වගකීම සහ කාර්යභාරය නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් විග්‍රහ කරන ලදී.

තවද, ඉන්දීය සාගර කලාපයේ නව ප්‍රවණතා සහ අභියෝග ජයගැනීමට කලාපීය නාවික හමුදාවන් සමඟ සහයෝගීත්වයෙන් මෙහෙයුම් සිදුකිරීමට හැකිවන පරිදි නාවික බලඇණිය, නවීන තාක්ෂණික සංවේදක හා උපාංගයන්ගෙන් සමන්විත නෞකා සහ යාත්‍රාවන්ගෙන් යුතුව කාලීනව නව්‍යකරණය කරමින්, සාගරික වපසරිය තුල ජාතික ආරක්ෂක අභිලාෂයන් ශාක්ෂාත් කරගැනීම සඳහා වර්ධනය වීම නාවික හමුදාවේ ඉදිරි අපේක්ෂාව වන බවත් නාවික හමුදාධිපති විසින් මෙහිදී සඳහන් කරන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද දින (2021 දෙසැම්බර් 06) සිදුකල මාණ්ඩලික විද්‍යාලයේ පහලොස්වන (15) මාණ්ඩලික පාඨමාලාව ඇමතීමේ අවස්ථාව සඳහා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය ආඥාපති, ‍මේජර් ජෙනරල් එච්එම්එල්ඩි හේරත්, යුද හමුදා ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් පිසිසි ගුණවර්ධණ, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, බ්‍රිගේඩියර් එච්එල්සි ලියනගේ, නාවික හමුදා ප්‍රධාන උපදේශක කොමදෝරු එන්පීඩබ් අමරදාස, ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ගුවන් කොමදෝරු එස්කේඒ සේනාරත්න ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ පහලොස්වන (15) පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් සහභාගීවී සිටියහ.

තවද, මෙම අවස්ථාව පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කර තිබූ අතර, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, අයිඑච්එම්එන්එන් හේරත් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.