71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම, 2021 ‍දෙසැම්බර් 03 සහ අද (2021 ‍දෙසැම්බර් 04) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සිදුකෙරෙන ආගමික වැඩසටහන් මාලාව යටතේ කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදීත්, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදීත්, හින්දු ආගමික වැඩසටහන කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදීත් සහ මුස්ලිම් ආගමික වැඩසටහන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදීත් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, දෙසැම්බර් 03 වන දින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා සධාතුක කරඬුව වැඩම කරවීමට ප්‍රථම, වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස මල්කළඹක් තැන්පත් කර පහන් දල්වා රට වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදහන් වූ වීරෝධාර නාවික රණවිරුවන් අනුස්මරනය කිරීමට කටයුතු කෙරිණි. අනතුරුව, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා වැලිසර මූලඝන්ධකුටි විහාරස්ථානයේ සිට වැලිසර නාවික සංකීර්ණය වෙත වැඩමකරවූ සධාතුක කරඬුව නාවික හමුදාධිපති විසින් තැම්පත් කිරීමෙන් අනතුරුව, නාවික හමුදාවට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව ආරම්භ කෙරිණි.

අද දින (2021 දෙසැම්බර් 04) වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය 71 නමක් විෂයෙහි වැලිසර නාවික සංකීර්ණයේදී දානය සහ පිරිකර පූජාකිරීමේ පිංකම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් බැති සිතින් සිදුකරන ලද අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම නාවික හමුදාධිපති ඇතුළු දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් 71 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම පිංකම සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, බටහිර නාවික විධානයේ ආඥාපති හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, වැලිසර නාවික සංකීර්ණයේ අනභාර නිලධාරී ඇතුළු බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.