ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා 2021 ඔක්තෝබර් මස 24 දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL, MAGAR, SUJATA, SUDARSHINI, TARANGINI සහ ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකා VIKRAM යන පුහුණු නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් 2021 ඔක්තෝබර් 27 සහ අද (28) දිවයිනෙන් පිටත්ව යන ලදී.

තවද මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සමඟාමීව මෙරට නිළ සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද (Vice Admiral Anil Kumar Chawla, Flag Officer Commander - in – Chief Southern Naval Command Indian Navy) සාර්ථක නිළ සංචාරයකින් පසු අද දින (2021 ඔක්තෝබර් 28) දිවයිනෙන් පිටත්ව යන ලදී. ඔහු මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති, විදේශ අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, නැගෙනහිර සහ දකුණු නාවික විධානයන්හි ආඥාපතිවරුන් හමුවී ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති වැඩසටහන් සඳහා ද සහභාගී විය.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය මඟින් ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවන පාර්ශවකරුවන් වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම, දැනුම හුවමාරු කිරීම, පොදු සමුද්‍රීය අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා සම්බන්ධීකරණය වීම, ජාත්‍යන්තර නීති සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව සාගරික සෙවීම් හා මුදවා ගැනීම් මෙහෙයුම් සිදු කිරීම ඇතුළු සාගරික මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය න්‍යායික සහ ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම අපේක්‍ෂා කරන ලදී.

ඒ අනුව, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මාර්ගගත ක්‍රමය ඔස්සේ සහ දුරස්ථභාවය සහිතව සිදු කෙරුණු මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය තුළදී ඉන්දීය නාවික හමුදා පුද්ගලයින් කොටස් වශයෙන් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති මානුෂීය ආධාර හා ආපදා සහන පුහුණු වැඩමුළුවක් (HADR) සඳහා සහ ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ස්ථාපිත ‘ Ship In The Box’ ආකෘතිය මඟින් යාත්‍රා වෙත ඇතුළු වීම, පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස (VBSS) සඳහා සහභාගී වූහ. තවද, මෙම පුහුණු අභ්‍යාස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්ශවය වෙත නැරඹීම සඳහාද පහසුකම් සළසන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා දියත් විධානයේ නාවික පුද්ගලයින් වෙනුවෙන් ඉන්දියානු නාවික හමුදාවේ SUJATA නෞකාව මතදී, නෞකාවක් වෙත හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑම (Hello Landing) සඳහා සූදානම් කිරීමේ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඉන්දියානු සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන පොදු සාගරික අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා දෙරටේ නාවික හමුදාවන් විසින් සිදු කෙරෙන නිරන්තර සාගරික මෙහෙයුම් සාර්ථක කර ගැනීමට මෙවැනි අභ්‍යාස මහත් පිටිවහලක් වනු ඇත.

ඉන්දීය නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණයට අයත් රුවල් නෞකා ද්විත්වය වන SUDARSHINI සහ TARANGINI පුහුණු නෞකා සාම්ප්‍රදායික මූලික නාවික ශිල්පීය දැනුම ප්‍රායෝගිකව ලබා දීමට අවශ්‍ය සියළු පහසුකම් සහිත රුවල් නෞකාවන් වේ. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන නිලධාරීන් සඳහා මෙම රුවල් නෞකාවන් මත සංවිධානය කළ ප්‍රායෝගික සහ න්‍යායික පුහුණු වැඩසටහන් ඉදිරියේදී වෘත්තීය නාවික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා එම පුහුණු වන නිලධාරීන් ලද සුවිශේෂී අවස්තාවක් විය.

එමෙන්ම, දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබඳතාවය සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුනින් කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී සංවිධානය කරන ලද යෝග අභ්‍යාස වැඩමුළු සහ නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පැවති වොලිබෝල් තරඟාවලිය දෙපාර්ශවය වෙත තවත් විශේෂ අත්දැකීමක් ගෙන දෙන ලදී. තවද, ජෛව ආරක්‍ෂක බුබුළු සංකල්පය යටතේ මෙම පුහුණු බලඝණයට අයත් නාවික පුද්ගලයින් හට දිවයිනේ ප්‍රදේශ රැසක වැදගත් සංචාරක ආකර්ශනීය ස්ථාන නැරඹීම සඳහා සංවිධානය කරන ලද අධ්‍යන චාරිකා, එම නාවික පුද්ගලයින්ට පමණක් නොව මෙරට සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමටද ඉවහල් වනු ඇත.

ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකාවන් ශ්‍රීලංකා නාවික නෞකා සමුදුර හා නන්දිමිත්‍ර යන නෞකාවන් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී සාර්ථක නාවික අභ්‍යාසයක නිරත වීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් මස 27 වන දින දිවයිනෙන් පිටත්ව ගිය අතර, SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ශ්‍රීලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමඟ නැගෙනහිර මුහුදේ පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව අද (2021 ඔක්තෝබර් 28) දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඒ අනුව, මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය තුළදී සෙවීම් සහ මුදවා ගැනීම් (SAR), නෞකා පෙළ හැඩ ගමන් කිරීම (DIVTACS), නෞකා අතර දුර පවත්වාගෙන යාම (SKBDL), නෞකා අතර භාණ්ඩ හුවමාරු කිරීම (RAS), සංඥා හුවමාරු කිරීම, ගුවනින් නෞකා වෙත භාණ්ඩ හුවමාරු කිරීම ඇතුළු අභ්‍යාස සාර්ථකව සිදු කෙරිණි. තවද, දිවයිනෙන් පිටත්ව යන ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් නෞකාවන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහිදී ආචාර දැක්වීම ද සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කෙරුණු මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය නව දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම උදෙසා දෙරටේ නාවික හමුදාවන් ලද සුවිශේෂී අවස්ථාවක් විය.