නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ බටහිර නාවික විධානය විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 23 වන දින වත්තල ප්‍රීතිපුර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් වත්තල ප්‍රාදේශීය සභාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කල මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, වත්තල ප්‍රීතිපුර වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් සඳහා ඉදිරියටත් අවශ්‍ය දායකත්වය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.