64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් 38 දෙනෙකු වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (2021 සැප්තැම්බර් 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විධායක, සැපයුම්, නාවික පාබල, විනයාරක්‍ෂක සහ විදුලි යන අංශයන් වෙත බඳවා ගත් ශිෂ්‍යභට නිලධාරීන් 38 දෙනෙකු වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කරන ලදී. මෙහිදී ශිෂ්‍යභට නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති, ශිෂ්‍යභට නිලධාරීන් ලෙස නාවික හමුදාව වෙත බැඳීමට ගත් තීරණය ඔවුන්ගේ ජීවීතයේ ප්‍රධාන සංධිස්ථානයක් වන බව පවසමින් ඉතාමත් ගෞවරණීය නාවික පවුල වෙත උණුසුම් ලෙස පිළිගන්නා බව පවසන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, මෙය ශිෂ්‍යභට නිලධාරීන්ගේ වෘත්තීමය ජීවිතයේ ආරම්භය පමණක් බවත්, ඉදිරියේදී ලබා දෙන දුශ්කර පුහුණුවක් සඳහා සෑම ශිෂ්‍යභට නිලධාරියෙකුම කායිකව හා මානසිකව සවිමත් විය යුතු බවත් පවසන ලදී. අද දින සිට ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ වසර 02ක පුහුණුවක් සඳහා අනුයුක්ත වන ශිෂ්‍යභට නිලධාරීන් වෙත න්‍යායික දැනුම එම විද්‍යාපීඨයේදීත් ප්‍රායෝගික දැනුම නාවික හමුදා නෞකාවන් තුළදීත් ලබාදීමට සැළසුම් කර ඇති බව පැවසූ නාවික හමුදාධිපති, සාර්ථකව පුහුණුව අවසන් කරනු ලබන සෑම ශිෂ්‍යභට නිලධාරියෙකු වෙතම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය මගින් උපාධියක් පිරිනමන බවත්, පුහුණුවේදී දක්වන දක්‍ෂතාවයන් මත ඉදිරියේදී වැඩිදුර විදේශීය පුහුණු අවස්ථාවන්ද ශිෂ්‍යභට නිලධාරීන් වෙත උදාවනු ඇති බවත් පවසන ලදී.

තවද,නාවික හමුදාව වෙත බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් හට හදවතින්ම සුභපතන බව පැවසූ නාවික හමුදාධිපති මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීම උදෙසා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් වෙතද සිය හෘදයාංගම ස්තූතිය පුද කිරීමට මෙහිදී කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම 64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරීන් වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කොමදෝරු අරුණ තෙන්නකෝන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලද ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ .