ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට (2021 අගෝස්තු 17) ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නිල වශයෙන් භාරදීම අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, 1967 වසරේ උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ඇත. ඔහු 1986 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වන දින, 15 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇති අතර, එම බඳවාගැනීමේ හොඳම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස තේරී පත්වීමෙන් 1988 වර්ෂයේදී එක්සත් රාජධානියේ ඩාර්ත්මත් හී පිහිටි බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයෙන් මධ්‍ය නිලධාරී පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබීය. ඔහු සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1989 වසරේ ඉන්දියාවේදී සාර්ථකව හදාරා ඇති අතර, මූලික ජල ශාස්ත්‍රිය පාඨමාලාව 1995 වර්ෂයේදීත්, දීර්ඝ ජල ශාස්ත්‍රිය පාඨමාලාව 2003 වර්ෂයේදීත් ඉන්දියාවේදී හදාරා ඇත.

නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බලගණය වන හතරවන වේග ප්‍රහාරක බලගණය වෙත ඔහුගේ පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව, වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ අණභාර නිලධාරි ලෙසත්, 1999-2000 කාලසීමාවේදී එම බලගණයේ පුහුණු නිලධාරී ලෙසත් 2006-2007 කාලසීමාවේදී එම බලගණයේ පුහුණු විධායක ලෙසත්, එම බලගණය ප්‍රබල ප්‍රහාරක බලගණයක් ලෙස පුහුණු කරවීම සඳහා ඔහු දෙවරක්ම තෝරා ගන්නා ලදී. අනතුරුව, ඔහු 2007-2008 කාලසීමාවේදී හතරවන වේග ප්‍රහාරක බලගණයේ අණදෙන නිලධාරී ලෙසත් කටයුතු කරන ලදී.

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් මාණ්ඩලික පාඨමාලාවද, චීනයේ බීජිං හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිලිබඳ පාඨමාලාව ද හදාරා ඇත. ඔහු ආරක්ෂක අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය කැළණිය විශ්ව විද්‍යාලයෙන් ද, ජල ශ්‍රාස්ත්‍රවේදය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ඉන්දියාවේ ගෝව විශ්ව විද්‍යාලය වෙතින් ද හිමිකර ගෙන ඇත.

ඔහු ත්‍රස්තවාදය මැඩලීමට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් රණශූර පදක්කමෙන්ද, දෙවතාවක් රණවික්‍රම පදක්කමෙන්ද ඇතුලු සේවා පදක්කම් ගනණාවකින් සහ ආදර්ශවත් විශිෂ්ට චරිතය සඳහා උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, ඔහුගේ සේවය අගයමින් අවස්ථා 03ක දී නාවික හමුදාධිපති වෙතින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ ගොඩබිම ආයතනයන්හි විවිධ ප්‍රධාන නිල තල රාශියක් දරා ඇති ඔහු, ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන්හි අණදෙන නිලධාරී ලෙසත්, ගොඩබිම් ආයතනයන්හි අණදෙන නිලධාරී ලෙසත් කටයුතු කර ඇත. එමෙන්ම, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී ව්‍යාපෘති හා සැළසුම් සහ නාවික හමුදා ජල ශාස්ත්‍රිය ඒකකයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී වශයෙන් නාවික හමුදා මූලස්ථානයේ විවිධ මාණ්ඩලික සහ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික තනතුරු ද හොබවා ඇත.

එමෙන්ම, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂක, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, නාවික පරීක්‍ෂණ ඒකකයේ වැඩ බලන අධ්‍යක්‍ෂක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී ලෙසද ඔහු කටයුතු කර ඇත.

එමෙන්ම රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී ලෙස කටයුතු කර ඇත. ඔහු නාවික හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස ද කටයුතු කර ඇති අතර, 'ඒ' වර්ගීකරණය හිමි සුදුසුකම්ලත් ජලශාස්ත්‍ර වේදියෙක් ලෙස රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස ඔහු තවදුරටත් කටයුතු කරමින් සිටී. රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස මෙන්ම නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ද කටයුතු කරන ලදී.