ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ලෝක කඩොලාන දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක්‌ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2021ජූලි 26) තලෙයිමන්නාරම සහ නච්චිකුඩා වෙරළ ප්‍රදේශයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.

වෙරළ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීමට මෙන්ම වෙරළ සංරක්ෂණය සඳහා කඩොලාන පද්ධතිය මඟින් විශාල සේවයක් සිදුවේ. ඒ අනුව, කඩොලාන පරිසර පද්ධතිය සුරැකීම සඳහා නිරන්තර දායකත්වය දක්වන නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ ලෝක කඩොලාන දිනයට සමගාමීව මෙම වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහන සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරණ ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වී සිටියහ.