ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KASHIMA’ සහ ‘SETOYUKI’ යන පුහුණු යුද නෞකා ද්විත්වය (02) තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකා ද්විත්වය (02) අද (2021 ජුනි 20) දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි.

කොළඹ වරායට නුදුරු මුහුදේදී සිදු කෙරුණු මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සහභාගී වූ අතර, නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා අතර පණිවිඩ හුවමාරු කිරීම ඇතුළු නාවික අභ්‍යාස මෙහිදී සිදු කරන ලදි. තවද, මෙම නාවික අභ්‍යාසය අවසානයේදී දිවයිනෙන් පිටත්ව යන ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුධ නෞකා ද්විත්වය වෙත නාවික සම්ප්‍රදායානුකූලව ආචාරය පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම සාගරික අභ්‍යාසය මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම ලබා ගැනීම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි කර ගැනීම‍ට අවස්ථාව සැළසෙනු ඇත.