ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2021 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

රණවිරු සේවා අධිකාරිය විසින් 2021 වසරේ ජාතික රණවිරු අණුස්මරණ සැමරුම් උළෙල සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, හිටපු ජනාධිපති සහ මැති ඇමතිවරුන්, අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, බස්නාහිර පළාත් අණ්ඩුකාර හා මාෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම දේශයේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්‍ෂිත කිරිම උදෙසා ජීවිත පරිත්‍යාග කළ සහ අතුරුදන්වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ සීමිත ආරාධිතයින් පිරිසක් පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම රණවිරු අනුස්මරණ උළෙලට සහභාගී වී සිටින ලදී.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මාතෘභූමියෙන් මුලිනුපුටා දමා දේශයේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සහ අතුරුදන් වු විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රණවිරු ස්මාරකය අභියස මල්කළඹක් තබා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

එමෙන්ම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, බස්නාහිර පළාත් අණ්ඩුකාර හා මාෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ෂන පතිරණ, පොලිස්පති සීඩී වික්‍රමරත්න, රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිණි ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ සටනේදී ජීවිත පරිත්‍යාග කළ සහ අතුරුදන් වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් ද රණවිරු ස්මාරකය වෙත මල්කළඹක් තබා රණවිරුවන් අනුස්මරණය කිරිම සිදු කෙරිණි.