හම්බන්තොට කරගම් ලේවාය වෙත වායු බල යාත්‍රාවක් (Air propelled boat) යෙදවේ

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපිත ගෑස් සහ තෙල් ගබඩා සංකීර්ණය අවට ආරක්‍ෂාව සඳහා කරගම් ලේවාය වගුරුබිම ආශ්‍රිත ප්‍රදේශයේ යාත්‍රා කළ හැකි වායු බල යාත්‍රාවක් (Air propelled boat) 2021 අප්‍රේල් මස 18 වන දින සිට යෙදවීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි.

නොගැඹුරු ජල තීරයන්හි යාත්‍රා කිරීම සඳහා භාවිතා කරනු ලබන මෙම වායු බල යාත්‍රාව (Air propelled boat) දකුණු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් වගුරුබිම් ආශ්‍රිත ප්‍රදේශයන්හි පහසුවෙන් යාත්‍රා කිරීමට හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලදි. ඒ අනුව, වෙනත් යාත්‍රා මඟින් ලඟා විය නොහැකි කරගම් ලේවායේ වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශයේ නාවික හමුදාව මඟින් සිදු කරනු ලබන ආරක්‍ෂක මුර සංචාර සඳහා මෙම යාත්‍රාව කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස යොදා ගැනීමේ හැකියාව පවතී. තවද, මෙම යාත්‍රාවේ ක්‍රියාකරුවන් සඳහා පුහුණු සැසියක් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අප්‍රේල් මස 18 වන දින කරගම් ලේවාය වගුරුබිම් ආශ්‍රිත ජල තීරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරී හම්බන්තොට කොමදෝරු මහේෂ් ද සිල්වා, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් එල්ඒඩීටී ශාමේන්ද සහ දකුණු නාවික විධානයේ කොමදෝරු අධිකාරී තටාකාංගණයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.