නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අද (2021 අප්‍රේල් 21) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

තැලසීමියා රෝගය ශ්‍රී ලංකාවේ බහුලතම ජානමය රෝගය බවට සැළකෙන අතර, තැලසීමියා රෝගය හේතුවෙන් රෝගියාගේ රුධිරයේ අඩංගු යකඩ ශරීරය තුළ එක්රැස්වීම සිදුවේ. මෙලෙස රුධිරයේ එක්රැස්වන යකඩ ඉවත් කිරීම සඳහා තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රෝගීන් හට අත්‍යවශ්‍යම උපකරණයකි. වෙළදපොළෙහි මෙම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින් තැලසීමියා රෝගයෙන් පීඩාවට පත් රෝගීන් හට අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් 2011 වසරේදී නිෂ්පාදනය කරන ලද අතර, සියළුම නිලධාරීන් සහ නාවිකයින් සිය මාසික වේතනයෙන් ස්ව කැමැත්තෙන් මෙම උතුම් සත්කාරය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලබයි.

ඒ අනුව, වෙළදපොලේ රුපියල් 75,000.00 ක් 100,000.00ක් වැනි ඉහල මිලකට අලෙවි වන තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් රු 4,250.00 ක පමණ අඩු පිරිවැයකින් නිපදවා නොමි‍ළයේ ලබා දීම එම රෝගීන් හට විශාල අස්වැසිල්ලක් මෙන්ම උතුම් සමාජ සත්කාරයකි.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවනු ලබන තැලසීමීයා නික්ෂේපණ යන්ත්‍ර සඳහා 2011 වසරේදී ශ්‍රී ලංකා විලේපන, උපකරණ හා ඖෂධ පාලක මණ්ඩලයේ (CDDA –Cosmetics, Devices & Drugs Regulatory Authority) ප්‍රමිති සහතිකය Certificate No (DVR-PR-019014) හිමිවූ අතර, තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රමාණයේ හොඳම නිෂ්පාදකයාට හිමි ජාතික සම්මානයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව 2012 වසරේදී පිදුම් ලැබීම නාවික හමුදාවේ මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතියට ලැබුණු ඉහළම ගෞරවයයි.

2011 වර්ෂයේ සිට මෙම උතුම් සමාජ සත්කාරයෙහි නිහඩව නිරත වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2374 ක ප්‍රමාණයක් අද වන විට දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් අතර අදියර කිහිපයක් යටතේ බෙදා හැරීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදා තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් මෙම වසරතුළ තවත් නික්ෂේපන යන්ත්‍ර 400 ක ප්‍රමාණයක් නිපදවීමට අපේක්‍ෂා කෙරේ. එමෙන්ම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් මෙම යන්ත්‍රයන්හි කාලීන අලුත්වැඩියා සහ සේවා කටයුතු ද නොමිලයේ සහ කඩිනම්ව වගකීමක් සහිතව සිදු කරනු ලබයි.

අද දින තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සංඛේතාත්මකව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය, අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම් කොමදෝරු ප්‍රදීප් රත්නායක, ඇතුළු නාවික හමුදා පර්යේෂන හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.