දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 08 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මග පෙන්වීම ය‍ටතේ බටහිර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, ගිණිකොණ, දකුණ සහ උතුර යන නාවික විධානයන් තුළදී 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි. සියළුම නිලධාරීන් හා නාවිකයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් පරිත්‍යාග කරන ලද මුදල් මෙම මහඟු සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලෙස යොදා ගනු ලබන අතර, නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දෙනු ඇත.

දශක 03කට ආසන්න කාලයක් පුරා රටම වෙලා ගත් එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයෙන් ජාතිය නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කිරීමට දායක වීමෙන් පසුව නාවික හමුදාවේ පුහුණු ශ්‍රමය ශිල්පීය දැනුම සහ අනෙකුත් සම්පත් දායකත්වය රජයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහාද ලබාදෙමින් සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නාවික හමුදාව රජයට ශක්තියක් වේ.

එවන් පසුබිමක නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව අත්‍යවශ්‍ය පහසුකම් සංවර්ධනය කළයුතු අඩු පහසුකම් සහිත පාසල් සොයා සමාජ සත්කාරක මෙහෙවරක් අරඹමින් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක ආරම්භය සනිටුහන් කරයි. ජීවන අරගලය ජයගන්නට අනවරත පරිශ්‍රමයක යෙදෙන නගරයෙන් දුරබැහැර පහසුකම් අඩු ගම්මානවල වෙසෙන දුවා දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීම උදාර සමාජ මෙහෙවරකි. ඒ අනුව, නාවික හමුදා 70 වන සංවත්සරයට සමගාමීව නගරයෙන් දුරබැහැර පහසුකම් අඩු ගම්මානවල වෙසෙන දුවා දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි නාවික විධාන 7 මඟින් තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් 08ක් සංවර්ධනය කිරීම සඳහා එක් විධානයක් වෙත රුපියල් මිලියන 4.5 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ බටහිර නාවික විධානය මඟින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලය සඳහා නව පන්ති කාමර ගොඩනැගිලි හතරක් අළුත්වැඩියා කිරීම, ජලනල පද්ධතිය හා වැසිකිළි පහසුකම් සකස් කිරීම සහ ළමා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ පිහිටි පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අඩක් නිමකළ පංතිකාමර ගොඩනැගිල්ල සහ පුස්තකාල ගොඩනැගිල්ල නාවික හමුදා දායකත්වයෙන් වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානය මගින්, දඹුල්ල වීර මොහාන් ජයමහ විද්‍යාලයේ මූලික අවශ්‍යතාවන් සහ අලුත් වැඩියා කටයුතු රාශියක් නිම කිරීමට නියමිතය. පුස්තකාලය සඳහා නව පොත් ලබාදීම, පංතිකාමර පිළිසකර කිරීම, වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම, පාසල ආවරණය වන පරිදි නව ආරක්ෂක බැම්මක් මෙන්ම පැසි පන්දු ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට ද නියමිතය.

වයඹ නාවික විධානය තුළ පිහිටා ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලය සඳහා අත්‍යවශ්‍යව පවතින නව පන්තිකාමර ගොඩනැගිල්ලක් සහ විද්‍යාගාර ගොඩනැගිල්ලක් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකිරීම මඟින් ඉතා අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන එම විද්‍යාලයේ දරුවන්හට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ගිණිකොන නාවික විධානය මඟින් අම්පාර පිහිටි හුලංනුගේ විද්‍යාලයේ ඉතාමත් අබලන් තත්වයේ ඇති ගොඩනැගිලි සහ එම විද්‍යාලයේ කුඩා ශ්‍රවනාගාරය, විද්‍යාගාරය හා පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමට නියමිතය.

දකුණු නාවික විධානය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි සූරියවැව වීරියගම මහා විද්‍යාලය සහ හුංගම ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් තුළ පොල් අතු සහ ටකරන් සෙවිලි කළ තාවකාලික පංතිකාමර තුළ ඉතා අඩු පහසුකම් යටතේ ඉගෙනුම ලබන ළමුන් සඳහා අත්‍යවශ්‍යව පවතින ඉඩ පහසුකම් සහිත පංතිකාමර ගොඩනැගිලි දෙකක් ඉදි කිරීමට නියමිතව ඇත.

මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය තුළ සංවර්ධනය සඳහා තෝරාගත් යාපනය, මණ්ඩතිව් දූපතේ රෝමානු කතෝලික විද්‍යාලය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති 2021 අප්‍රේල් මස 03 වන දින සහභාගී වූ අතර, එම අවස්ථාවට සහභාගී වූ මණ්ඩතිව් දූපතේ පිහිටි කතෝලික දේවස්ථානයේ පැරිෂ් පූජකතුමන්, විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුමණ්ඩලය සහ එම විද්‍යාලයේ සිසු දරුවන් විසින් නාවික හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. නාවික හමුදාව මගින් එම විදුහලේ සිදු කිරීමට අපේක්‍ෂිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විදුහල් ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට නාවික හමුදාධිපති විසින් එහිදී කටයුතු කරන ලදි. මෙම විද්‍යාලයට දැඩි අවශ්‍යතාවක් ව පවතින පුස්තකාලය හා පරිගණක විද්‍යාගාරය සඳහා වන දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සහ ඊට අවශ්‍ය පරිගණක, පරිගණක පුටු හා මේස ලබා දීම මෙන්ම පන්තිකාමර වෙන් කිරීම ද නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිත අතර, විද්‍යාලයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීමටද මෙම ව්‍යාපෘතිය යටතේ සැළසුම් කර ඇත.

මෙලෙස නාවික විධාන 7 ආවරණය වන පරිදි තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් තුළ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවන් සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් අනුර ධනපාල, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ උතුරු නාවික විධානයේ වැඩ බලන ආඥාපති කොමදෝරු ජේපී ප්‍රේමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.


බටහිර නාවික විධානය


නැගෙනහිර නාවික විධානය


උතුරු මැද නාවික විධානය


වයඹ නාවික විධානය


ගිණිකොණ නාවික විධානය


දකුණ නාවික විධානය


උතුර නාවික විධානය