සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි වන සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 28) මැදින් පුන් පොහෝ දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවේ තැන්පත් කිරීම සඳහා මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විසින් පූජා කරන ලද වටිනා නිදන් වස්තු, ආගමික වතාවත් මධ්‍යයේ ගරුතර මහා සංඝරත්නය විසින් මෙලෙස අද (2021 මාර්තු 28) දිනට යෙදුන සුභ මෙහොතින් තැන්පත් කෙරිණි.

මෙම අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පූජා කරන ලද නිදන් වස්තු සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවේ තැන්පත් කිරිමට ද කටයුතු කරන ලදි. එහිදී නාවික හමුදාවේ සියළුම නාවික පුද්ගලයින්ගේ දායකත්වය ලැබෙන පරිදි චෛත්‍යරාජයාණන් වහන්සේ තුල තැන්පත් කිරීම සඳහා නිදන් වස්තු පූජා කිරීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කල අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රථිපාදන ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමය මගින් ලබා දෙන ලදි.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කර මාතෘභූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝධාර රණවිරුවන් දිවි හිමියෙන් සටන් වැද සිදුකල ජීවිත පරිත්‍යාගයන්, කැපකිරීම් හා උදාර සේවය අගය කරනු වස් ශ්‍රි ලංකාවේ පස්වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදි.

වත්මන් ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ‍චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වර්ථමාන ඉදිකිරීම් කටයුතු ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබයි.

මෙම නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය පහමුනේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල නායක හිමිපානන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, රජයේ අමාත්‍යවරුන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ගුවන් හමුදාධිපති, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් හා බැතිමතුන් සැදැහැති සිතින් සහභාගී වී සිටියහ.