ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලම තුල අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, 2021 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසින් වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

ගිං ග‍ඟෙහි ප්‍රධාන ගංඟාව සහ අතු ගංඟා ආශ්‍රිත ප්‍රදේශයන්ට නොසැලකිලිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම, ගස් කැපීම සහ උණ පඳුරු කපා දැමීමත් හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන මෙම අපද්‍රව්‍ය වක්වැල්ල පටු පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වේ. මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින නාවික හමුදාව දකුණු නාවික විධානයේ කිමිදුම් අංශයේ සහ මැරීන් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා සිරවූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.