රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අද (2021 ජනවාරි 15) දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2021 ජනවාරි 15) එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත සුභපැතුම් එක් කරන ලදී.

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමා 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය. නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ මැයි මස 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1988 වසරේ ඉන්දියාවේදී සාර්ථකව හදාරා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2016 ඔක්තෝබර් මස 16 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ භාරධූර නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ ප්‍රථම අණදෙන නිලධාරී වශයෙන්ද රාජකාරී සිදු කොට ඇත. තවද, ඔහු අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ආඥාපති, දකුණු හා උතුරු නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, ගිනිකොන නාවික විධානයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදි. එමෙන්ම, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරන ලදී.

තවද, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අවස්ථා කිහිපයකදිම ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බංගලාදේශය යන රටවල්වලදී උසස් නාවික පුහුණු පාඨමාළාවන් හදාරා ඇති අතර, දියයට සංග්‍රාම පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන ඔහු ඒ සඳහා වැඩිදුර පුහුණුව ඉන්දියානු නාවික හමුදාවේ වෙන්දුරුතී නාවික හමුදා දියයට සංග්‍රාමික පාසලේදී හදාරා ඇත බංගලාදේශ විශ්ව විද්‍යාලයේ උපාය සංවර්ධනය පිළිබඳ පශ්චාද් උපාධිදාරියෙක් (Master of Strategy and Development Studies) වන ඔහු බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ විද්‍යාර්ථයෙකි.

1987 වර්ෂයේ සිට ත්‍රස්තවාදය මැඩලීම සඳහා මුහුදින් සහ ගොඩබිමින් සක්‍රීයව දායකත්වය ලබා දෙමින් මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර සහ ඔහුගේ දීප්තිමත් සේවා කාලය මුළුල්ලේ පෙන්නුම් කල නොකැළැල් චරිත ස්වාභාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇති අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් ඔහු වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීමද සිදු කර ඇත.

ඉතා ‍දක්‍ෂ ක්‍රිඩකයෙකු වන රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා ස්කොෂ් හා ටෙනිස් කණ්ඩායම් හි නායකත්වය දරමින් ජයග්‍රහණයන් රැසක් නාවික හමුදාව වෙත අත් කර දීමට මෙන්ම එම ක්‍රීඩාවන් වෙනුවෙන් නාවික හමුදා වර්ණ දිනා ගැනීමට සමත්ව ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා ටෙනිස් සංචිතයේ සභාපතීත්වයද වසර ගණනාවක් හොබවා ඇත.

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, කුමාරි වීරසිංහ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් ‍දෙපළට මදුෂි වීරසිංහ දියණිය මෙන්ම හසරු වීරසිංහ සහ චමත් වීරසිංහ යන පුතණුවන් දෙපලක්ද සිටී.