නාවික හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය

2021 වර්ෂයට පා තැබූ නාවික සහ සිවිල් සේවක ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත්, අරමුණු කොටගත් යහපත් සිතිවිලි, ප්‍රාර්ථනා, අධිෂ්ඨානයන් එලෙසම ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරමි.

2020 වර්ෂය අප ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුදෙනා හට අභියෝගයක් වූ වර්ෂයක් වුවද බොහෝ බාධක අභිබවා අපගේ අභිප්‍රායන් රටක් වශයෙන් ඉටුකරගැනීමට, පුද්ගලයන් වශයෙන් මෙන්ම හමුදාවක් වශයෙන් දැක් වූ දායකත්වය, කැපවීම, උනන්දුව සහ අභියෝග ජයගැනීමේ හැකියාව පිළිබඳ මා ඉතා සංතෝෂයට පත්වෙමි.

නව වසරක ඉලක්කයන් සෑම ක්ෂේත්‍රයක් තුලම එහි පැවැත්මෙහි නිර්ණායකයන් වන අතර, ඉලක්කයන් සපුරා ගන්නේ කොතෙක්ද යන්න මත රටක පැවැත්මෙහි වර්ධනය තීරණය වනු ඇත. අප සුවිශේෂී ලෙස ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක් වුවද, අපගේ අභිප්‍රාය වනුයේ ආර්ථික/සාමාජීය/සංස්කෘතිමය වශයෙන් සිදුවන පුනර්ජීවනය සමඟින් ඔප්නැංවෙන රටෙහි සුරක්ෂිතතාවය තහවුරු කිරීම වේ. ඒ අනුව, රාජ්‍යයක වර්ධනයෙහිලා එකිනෙහිම අප දායකවන්නන් වේ. අපගේ යුධමය ශක්තිය වැඩිදියුණු කරගැනීම, ඉදිරි සැලසුම් සහ ක්‍රමවේදයන්, ඉහළ කළමණාකාරීත්වය, විවිධ ක්ෂේත්‍රයන්ගේ දැනුම, නව නිපැයුම්කරණය තුලින් හමුදාවක් වශයෙන් අපගේ අභිප්‍රායන් ඉෂ්ඨ කරගැනීමට මෙම වර්ෂය තුල අප හැකිතාක් උත්සුක විය යුතුය. මෙම නව අභියෝගයන් අභියස පුද්ගලයෙක් වශයෙන් ඔබගේ කැපවීම, උත්සාහය, විනයගරුක බව, සාමුහිකත්වය, සහජීවනය, ජ්‍යෙෂ්ඨත්වයට ගරු කිරීම මෙන්ම ඔබ තුල ගොඩනගා ගන්නා පරාර්ථකාමී නායකත්වය සුවිශාල කාර්යභාරයක් ඉටුකරනු ඇත. 2021 වර්ෂයට මෙම අදිටනින් යුතුව පා තබන ලෙස මා ඔබ සැමට සිහිපත් කරමි.

දුපත් රාජ්‍යයක නාවික හමුදාවක අති විශිෂ්ඨ සේවය මෙතෙකැයි ගණනය කල නොහැක. අතිශය වටිනාකමකින් යුත් එවන් පුණ්‍යභූමියක රට සුරකින රණවිරුවකු වී ඉපදීම පවා අප ලද භාග්‍යයකි.ඒ අනුව යමින් සයුර තුල අපගේ කාර්යභාරයන් මැනවින් ඉටුකිරීමෙහිලා අප දක්‍ෂයන් විය යුතුය. අප වෙත එල්ල වෙතැයි අපේක්‍ෂා කල හැකි තර්ජනයන්ගෙන් රට සුරක්‍ෂිත කරගැනීමේ උදාරතර අරමුණ ඇතිව රට වෙනුවෙන් වූ අපගේ යුතුකම උදෙසා නව වර්ෂයේ පෙළ ගැසෙමු.

2021 වර්ෂය, ඔබ රටට රණවිරුවකු ලෙස දක්වන දායකත්වය/යුතුකම ඔබගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ද කැපකල යුතුය. රටක කුඩාම ඒකකය ලෙස, තම පවුල සුරක්‍ෂිත සහ සෞඛ්‍යමත් මෙන්ම, සැනසිලිදායක එකක් වන තරමට රටක අරමුණු වෙනුවෙන් රාජකාරියෙහි නියැලීමේ නිරවුල් මනසක් නිතැතින්ම පවත්වාගෙන යාමට හැකි වේ.

නව වසරක උදාවත් සමඟ නාවික හමුදාවේ උන්නතිය සහ ජයග්‍රහණය වෙනුවෙන් ඔබගේ නැවුම් අදහස් සහ ආකල්පයන් මා නිරතුරුවම අපේක්‍ෂා කරමි. 2021 වර්ෂය අනෝන්‍ය සහයෝගීත්වය, සුහදත්වය, අවබෝධය සහ සාමකාමීත්වය අගයමින් සැලසුම්කල සියලු අභිමතාර්ථයන් ජයගත හැකි වාසනාවන්ත සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.