අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍ය බොදුනුවන්ගේ වන්දනාව පිණිස පූජා කෙරේ

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ හී නාවික පුද්ගලයින්ගේ මුල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍ය අද (2020 දෙසැම්බර් මස 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කරන ලදි.

අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කර, 2020 සැප්තැම්බර් 12 වන අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා කුඩාකත්නෝරුව වේදෙණිගම ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කරන්දෙණියේ ඥාණවීර ස්වාමීන් වහන්සේගේ හා පූජ්‍ය කහත්තේවෙල සුගතවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීමෙන් මෙම චෛත්‍යයෙහි ඉදිකිරීම් කටයුතු 2020 ඔක්තෝබර් 23 වන දින නාවික හමුදා මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරන ලදි. ඉදිකිරීම් අවසන් කරන ලද මෙම චෛත්‍ය ගර්භයෙහි අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කිරීම, වැඩමවා වදාල මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ නාවික හමුදාධිපතිතුමන් විසින් අද දින සිදු කරන ලද අතර, චෛත්‍යයේ කොත් කැරැල්ල නිරාවරණය කිරීමෙන් අනතුරුව ආගමික වත්පිළිවෙත් සිදු කිරීමට ද මෙහිදී නාවික හමුදාධිපතිතුමන් සහභාගී විය.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කෙරුණු මෙම පුන්‍යකර්මය සඳහා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගීවී සිටියහ.