අනුරාධපුර ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තබයි

අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි.

අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ වසර 50 කට අධික කාලයක් වැඩ වාසය කළ, අපවත්වී වදාල ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකරනු ලබන මෙම චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්නගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදා ශ්‍රම දායකත්වය ලබා දීමට නියමිතය. මෙම මහඟු පුණ්‍යකර්මයේ ආරම්භය සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ චෛත්‍ය ඉදිකිරීමේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් ඔක්තෝබර් 23 සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ පුහුණු කපිතාන් සහ උතුරු මැද නාවික විධානයේ සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයන් පිරිසක් සහභාගිවී සිටියහ.