ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ‘නිකසළ සයුරක් පිරිසිදු වෙරළක්’ යන තේමාව යටතේ පැවති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සිය දායකත්වය දක්වමින් නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරයන් රැසක පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

2020 සැප්තැම්බර් 19 වන දින ගල්කිස්ස වෙරළ තීරයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කර 2020 සැප්තැම්බර් 25 වන දින දක්වා පැවැත්වීමට යෙදුණු ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය තුලදී දිවයින වටා තෝරාගත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණි. මෙම ජාතික වැදගත්කමකින් යුත් සත්කාර්යට එක් වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් උතුර, නැගෙනහිර, බටහිර, ගිණිකොණ, වයඹ, උතුරු මැද සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැසටහන් මාළාවක් පවත්වන ලදි. මෙහිදී වෙරළ තීරය තුල විසිර තිබූ ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කර එමගින් සමුද්‍ර පරිසරයට සිදුවිය හැකිව තිබූ හානිය මැඩලීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

තවද, සමුද්‍ර සම්පත් සහ සාගරික ජෛව විවිධත්වය සුරැකීමේ වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව, ප්ලාස්ටික් සහ පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය, කඩොලාන රෝපණය, කොරල්පර නැවත වගාව, නීති විරෝධී ධීවර කටයුතු හරහා සිදුවන පරිසර හානිය වැළැක්වීමට කටයුතු කිරීම සහ ඒ සම්බන්දයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් වල අඛණ්ඩව නිරත වනු ලබයි.