ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා අද (2020 සැප්තැම්බර් 23) කොළඹ වරායට සේන්දු විය.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ “කාගා” නෞකාව දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 380ක ගෙන් සමත්විත බහුකාර්ය ඩිස්ට්‍රෝයර් වර්ගීකරණයට අයත් නෞකාවක් වන අතර, “ඉකසුචි” නෞකාව දිගින් මීටර 151කින් සහ නැව් මුළුව 170ක ගෙන් සමන්විත ඩිස්ට්‍රෝයර් වර්ගීකරණයට අයත් නෞකාවක් වේ.

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” නෞකාවේ ධජ නිලධාරී රියර් අද්මිරාල් කොන්නෝ යසුෂිගේ (Konno Yasushige) අතර හමුවක් නෞකාවට යාබද ජැටියේදී සිදු වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් නාවික සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. එමෙන්ම, “කාගා” නෞකාවේ සහ “ඉකසුචි” නෞකාවේ අණදෙන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ඔවුන් අතර ද සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි. තවද, මෙම හමුවන් පවත්නා කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සිදු කිරීමට කටයුතු කෙරිණි.

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් මෙම නෞකා 2020 සැප්තැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් සමඟ නාවික අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතය.