ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහ (5) සහ ප්‍රථම වරට නායකනැවි තරාතිරමේ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 සැප්තැම්බර් 21) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

ඒ සඳහා රුපියල් මිලියන 49.5 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලද අතර, නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යේෂ්ඨ නාවිකයින් 3324 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීම සිදු කර ඇත. තවද, කණිෂ්ඨ නාවිකයින් සඳහාද ප්‍රථම වරට මෙම පොලී රහිත ණය මුදල ලබා දීම ආරම්භ කරන ලද අතර, ඒ සඳහා තෝරාගත් කණිෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කරන ලදි. එසේම, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 2050 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.