උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය 2020 සැප්තැම්බර් 18 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාරය පිරිනමමින් නව ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය උතුරු නාවික විධානය වෙත පිළිගන්නා ලද අතර, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ගරුතර සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඔහු උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදි.

මෙහිදී විධානයේ හිටපු ආඥාපති වත්මන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා විධානයේ නි‍යෝජ්‍ය ආඥාපති, විධානයේ ආයතනයන්හි අණදෙන නිලධාරීන්, විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.