යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා නාවික හමුදාවෙන් මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 200 දෙනෙකු සහ එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට අයත් නිලධාරීන් පිරිසක් සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය සති අන්තයේදී කටයුතු කෙරිණි.

ප්‍රදේශයේ පාසල් සහ රාජ්‍ය ආයතන වෙතින් සිදු කරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ 543 යාත්‍රාව මගින් මෙම සිසු සිසුවියන් සහ රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් මුහුදු සංචාරය සඳහා රැගෙන යන ලද අතර, ඒ සඳහා එම සිසු දරුවන්ගේ ගුරුභවතුන් පිරිසක්ද සහභාගී වූහ. මෙම මුහුදු සංචාරය අතරතුරදීද සිසු සිසුවියන්, ගුරුභවතුන් සහ රාජ්‍ය ආයතන නිලධාරීන් හට උතුරු මුහුදේ සාගරික ජෛව පද්ධතිය පිළිබඳව මෙන්ම නීති විරෝධී, වාර්ථා නොවන සහ අවිධිමත් ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසරයට වන විනාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

තවද, මීට පෙරද නාවික හමුදාව විසින් මෙවැනිම මුහුදු සංචාරයන් දෙකක් (02) යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් වෙත ලබා දීම සිදු කල අතර, එහිදී පිළිවෙලින් පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සහ 169 දෙනෙකු වෙත මුහුදු සංචාරයන් ලබාදී ඔවුන්ට නැවුම් අත්දැකීමක් ගෙනදීමට කටයුතු කරන ලදි. මෙම මුහුදු සංචාරය ද නාවික හමුදාව සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් සංවිධානය කරන ලද අතර, මෙම මුහුදු සංචාරය මගින් ශ්‍රී ලංකාවට අයත් කළාපයේ සාගර සම්පත් සහ එම සම්පත් සුරක්‍ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා දීමටද මෙහිදී කටයුතු කෙරිණි.