නාවික හමුදාධිපති ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාව නිරීක්‍ෂණයට එක්වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 සැප්තැම්බර් 10) ත්‍රිකුණාමලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති (කණිෂ්ඨ ශ්‍රේණිය) ඒකේ පාණ්ඩේ හමුවී එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ආපදා තත්වය කළමණාකරනය කිරීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කර සිටින ලදි.

ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදේ ආපදාවට පත්වූ ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා දැක්වූ විශිෂ්ඨ දායකත්වය ඇගයීමට ලක් කල නාවික හමුදාධිපති, අමේයා (ICGS AMEYA) නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව වෙත මෙම මෙහෙයුම සඳහා ලබා දුන් අනගි සහයෝගය සහ කැපවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කර සිටින ලදි.

තවද, එම්ටී ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ පාලනය කර තිබූ ගින්න පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාළගුණය මත උපරිම තත්වයට වර්ධනය වීමත් සමඟ නාවික හමුදාධිපති විසින් ‍ඒ සම්බන්ධයෙන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් දැනුවත් කල වහාම ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ගිණි නිවීම සඳහා අවශ්‍ය DCP රසායන ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් රසායන ද්‍රව්‍ය අවශ්‍යතාවය ඉතා කඩිනමින් සැපයීමට ක්‍රියා කිරීම මෙහිදී නාවික හමුදාධිපති තුමන් ඇගයීමට ලක් කරන ලදි.

තවද මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.