සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් හට නාවික හමුදාව මගින් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව ප්‍රධානොත්සවයක් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණුගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් මස 04 වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

නාවික හමුදා සුභසාධක අරමුදලේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 09ක් ලබා ගනිමින් විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් 32 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සිදු කෙරුණි. මෙම ශිෂ්‍යත්වයන් සඳහා හිමිකම් ලබන දරුවන් වෙනුවෙන් 2022 අගෝස්තු මාසය දක්වා වසර 02ක කාලසීමාවක් වෙනුවෙන් මාසිකව රු 5000.00ක් බැගින් ලබා දීමට නියමිතව ඇත. මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේදී ශිෂ්‍යත්වලාභී දරුවන් වෙත සංකේතාත්මකව රුපියල් 5000.00ක ප්‍රේෂණ පතක් ලබාදීම සිදු කෙරිණි.

තවද වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම උත්සවය සඳහා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, ශිෂ්‍යත්වලාභී දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.