සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව වෙත විශේෂ සම්මානයක්

සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන ව්‍යාපෘතීන් ඇගයීමට ලක් කරමින් නාවික හමුදාව වෙත විශේෂ සම්මානයක් පිරිනැමීම 2020 අගෝස්තු 22 දින කොළඹදී පැවති ජපාන ශ්‍රී ලංකා තාක්‍ෂණික හා සංස්කෘතික සංගමය (JASTECA) මගින් සංවිධානය කරන ලද සමාජ සත්කාර ව්‍යාපෘති සහ තිරසාරත්වය වෙනුවෙන් කැපවෙන ආයතනයන් වෙත සම්මාන පිරිනැමීමේ උළෙලෙහිදී සිදු කෙරිණි.

2019 වසරේ පැවති ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ ජපාන ශ්‍රී ලංකා තාක්‍ෂණික හා සංස්කෘතික සංගමයේ සමාජ සත්කාර සහ තිරසාරත්ව තරඟාවලියට අදාලව 2020 අගෝස්තු 22 වන දින පැවති සම්මාන ප්‍රධාන උළෙලෙහිදී, සමුද්‍රීය පරිසරය සුරැකීම වෙනුවෙන් නාවික හමුදාව වෙත පිරිනැමූ විශේෂ සම්මානය නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා විසින් නාවික හමුදාව වෙනුවෙන් ලබා ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නිළ වශයෙන් භාරදීම 2020 අගෝස්තු 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

සමුද්‍රීය පරිසරය රැක ගැනීම සඳහා නාවික හමුදාව විසින් කඩොලාන වගාව, කොරල්පර පරිසර පද්ධතිය සංරක්‍ෂණය සහ නැවත වගාව, සමුද්‍රීය පරිසර පද්ධතියට හානි ගෙනදෙන නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම, කැස්බෑ සංරක්‍ෂණය, වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය හා නව නිපැයුම් සිදු කිරීම යනාදී වැඩසටහන් ක්‍රියාවට නංවා තිරසාර සමුද්‍රීය පරිසර පද්ධතියක් අනාගත පරපුර වෙත හිමිකර දීම සඳහා දායකත්වය ලබා දෙයි.