අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවසක් ඉදිකර දෙයි

නාවික හමුදාවේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෛයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල අංග සම්පූර්ණ නිවසක් එම පවුලේ සාමාජිකයින් වෙත භාරදීම 2020 අගෝස්තු මස 17 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි.

මෙම සමාජ සත්කාරය සඳහා මූල්‍ය අනුග්‍රහය තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය භාග්‍යා වීරවර්ධන මෙනෙවිය සහ ඇයගේ පවුලේ ඥාතීන් හා හිත මිතුරන් විසින් ලබා දුන් අතර, උතුරු මැද නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික සහ ශ්‍රමදායකත්වය යටතේ නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණි.

තවද, මෙම නිවස ලබාදීමේ අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු විධානයේ නිලධාරීන්, තලෛයිමන්නාරම ප්‍රදේශීය රෝහලේ වෛද්‍ය භාග්‍යා වීරවර්ධන මෙනෙවිය සහ විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වූහ.