අභිනව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට අද (2020 ජූලි 31) වැලිසර, නාවික රණවිරු ස්මාරකය අභියසදි ත්‍රස්තවාදය පිටු දැකීමේ මෙහෙයුම් වලදී රට වෙනුවෙන් දිවිපිදූ සහ අතුරුදහන්වූ අභීත නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පිරිනමා ආචාරය පුද කරන ලදි.

සක්‍රීය සේවයේ යෙදී සිටියදී දිවිපිදූ සහ අතුරුදන් වූ සියළුම නාවික රණවිරුවන්ගේ උත්තරීතර සේවය අගය කිරීම වෙනුවෙන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පැවති මෙම උත්සවය සඳහා නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්, බටහිර නාවික විධානය භාර ආඥාපති ඇතුළු නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක්ද සහභාගීවී සිටියහ.

රටේත් ජාතියේත් අද දවස වෙනුවෙන් තම ජීවිතය පුදා කල සේවය ගෞරවයෙන් සිහි කල නාවික හමුදාධිපති තුමන් එම රණවිරුවන්ගේ පවුල් වල ඥාතීන් මෙන්ම දැනට ආබාධිත තත්වයෙන් පසුවන නාවික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හටද තම ගෞරවාදරය පුදකර සිටින ලදි.