සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුනි 27 සහ 28 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක ‘නීල හරිත ව‍්‍යාපෘතිය’ යටතේ දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් උතුරු නාවික විධානයේ වෙරළ තීරයන් ‍කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා උතුරු නාවික විධානයට අයත් ආයතනයන්හි නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලද අතර, එහිදී උතුරු නාවික විධානයේ ආයතන සහ අනුඛණ්ඩ‍‍වලට අයත් වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද කොවිඩ් 19 වසංගත තත්වය පිටුදැකීමේ සියළු සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම වැඩසටහන පවත්වන ලදි. මෙවැනි වැඩසටහන් හරහා දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යාමට නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරමින් සිටී.