වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයෙහි බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් මුර යාත්‍රාවන් මගින් 2020 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයෙහි සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදු කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 03ක් සමඟ ධීවර යාත්‍රාවක් (1), කිමිදුම් උපකරණ කිහිපයක් මසුන් කිලෝ 15 ක්, මුහුදු කූඩැල්ලන් 94 ක්, සහ එම ධීවර යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 29 ත් 39 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, කිමිදුම් උපකරණ, මසුන්, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.